Wednesday, 26 February 2014

ඇය නිරංජලා නම් විය


හැරිසන් පීරිස් සහ රෙජිනා පීරිස් මව්පියන් ඇසුරේ ඇය කොළඹ හැදී වැඩුණු තරුණියක්.අබේවර්ධන බාලසුරිය නම් වූ ඇගේ සැමියා හලාවතටත් එහා දුෂ්කර ගමක හැදුණු තරුණයෙක්. මල්කාන්ති,නිර්මලා,සරෝජිනී සහ මනෝජ් යන සහෝදර සහෝදරයා සමගින් කලා පවුලක ඉපදුන ඈ ගුවන් සේවිකාවක් වන්නට අසාවෙන් පසුවීලු.එහෙත් දෛවය ප්‍රකාරව ඒ ගුවන් සේවිකාව පසු කලෙක ගුවන් විදුලි(ඒ ශ්‍රේණියේ ගායිකාවක්) සහ රුපවාහිනී නිවේදිකාවක් වුවාය.ඊටත් පසුකලෙක නන්දා මාලිනිය හරහා “රුවැති ලඳක්” ගීත නාටකයට සම්බන්ධ වුවාය.ඇය ගායිකාවක් වන්නේ එතැන් සිටයි.  
“මගේ අක්කා මල්කාන්ති නන්දසිරිගේ හොඳ යාළුවෙක් තමයි අබේ කියන්නේ. ගුවන් විදුලියේදී ඒ දෙන්නා අතර ඇතිවුණ යාළුකම නිසා අක්කව මුණ ගැහෙන්න අබේ අපේ ගෙදර නිතර ආවා ගියා. එතකොට මම පාසල් යනවා. අබේ මට වඩා අවුරුදු දහයක් වැඩිමහල්. එයා අපේ ගෙදර ආව නිසා මටත් ආශ්‍රය කරන්න පුළුවන් වුණා. ඒ යාළුකම ටික ටික ආදරේකට පෙරළුණා. අපි අවුරුදු දහයක් ආශ්‍රය කරලා තමයි විවාහ වුණේ.
අපේ ගෙදරින් ප්‍රශ්න ආවා. අම්මයි තාත්තයි පුද්ගලයෙක් හැටියට  අබේට කැමැති වුණත් මම එයාට ආදරය කරනවට, විවාහ වෙනවට කැමැති වුණේ නැහැ. අපි කතෝලික. අපි පිට ආගමක කෙනෙක්ව විවාහ කරගත්තොත් මරණයේදී අපිට කනත්ත ලැබෙන්නේ නැහැ. අබේ බෞද්ධ. අපේ තාත්තා හැරිසන් පීරිස් ඒ කාලේ පුවත්පත් කලාවේදියෙක්. ඉංග්‍රීසි මාධ්‍යයෙන්. තාත්තාගේ විරෝධයත් එක්ක අපි අපේ බැඳීම් නැති කරගත්තේ නැහැ. කොහොම හරි කාලයත් එක්ක අපේ ආදරයට දෙමාපිය ආශිර්වාදය ලැබුණා. අපි පල්ලියේ විවාහ නොවී පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර එක්ක විවාහ වුණා. 1981 අගෝස්තු මාසේ 26 දා.
ඒ කාලේ අලුත් හඬක් නිසා අපේ පාසලේ ළමයි පවා අබේ ගැන කතා කළා. මගේ යාළුවෝ පවා ඒ හඬට ඇලුම් කළා. මටත් ඒ හඬ දැනුණා. මම අබේට ආදරය කරන්නේ එයාට තිබුණ ජනප්‍රියත්වයට නම් නෙමෙයි. එයාගේ ගතිගුණ වෙනස්. ඍජුව කතා කරන ඍජුව තීරණ ගන්න කෙනෙක්. කලාවට බර සිතක් තිබුණ නිසාද දන්නේ නැහැ ඔහු හරිම සංවේදියි. කලාත්මක හැඟීම් නිසා වෙන්න ඇති මම එයාව දැක්කේ ආදරණීය පුද්ගලයෙක් හැටියට. එයා හරිම ආඩම්බර චරිතයක්. ඒ වගේම කඩවසම්. ලස්සනයි. මේ හැම හේතුවක් නිසාම මගේ හිතත් අබේට ආදරය කළා.
මම කිසිම වෙලාවක අබේගේ දේවල්වලට ඊර්ෂ්‍යා කළේ නැහැ.  කවුරු ප්‍රතිචාර දැක්වුවත් මම ඒ දිහා උපේක්ෂාවෙන් බැලුවා. ඒත් මට එයා ගැන නිතරම ලොකු ලෝබකමක් දැනුණා. සමහර විට මට එහෙම දැනුණේ ආදරේ වැඩිකමට වෙන්න ඇති.
සංගීත ක්ෂේත්‍රයේ නිරංජලා සරෝජිනී කෙනෙක් බිහි කරන්න වෙහෙස ගත්ත කෙනෙක් තමයි අබේ කියන්නේ. ඒ නිසා මම අබේට ණයගැතියි. මගේ හඬට එයා නීතිරීති දැම්මේ නැහැ. අපි දෙන්නම ගුවන් විදුලියෙත් රූපවාහිනියෙත් එකට වැඩ කළ නිසා නිතර මුණ ගැසුණා. මම 76 තමයි සහන නිවේදිකාවක් වුණේ. නිවේදන රාජකාරියට අමතරව මට ගුවන් විදුලි නාට්‍යවලට ඇරයුම් ලැබුණා. ඒත් ඒකට නම් අබේ කැමැති වුණේම නැහැ. ආදර චරිතවලට රඟපාන එකට එයාගේ හිතට දැනෙන්න ඇති. ඒ තහනම විතරයි තිබුණේ. ඒ නිසා මමත් ගුවන් විදුලි නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ.
අපිට දරුවෝ නැහැ කියලා කවදාවත් අපි අතරවත් අපේ පවුල් අතරවත් ප්‍රශ්න තිබුණේ නැහැ. ඒ අඩුව අපි දෙන්නට දැනුනෙත් නැහැ. අපේ ආදරේ ඒ තරම්ම ශක්තිමත්. ඒ වගේම අපේ දේවල් පවත්වාගෙන යන්න දරුවෙක් හිටියා නම් කියලා හිතලා දුක් වෙන්නෙත් නැහැ. මොකද අපි දෙන්නා ජීවිතේ වින්දා. සීමාවන් දාගෙන හිටියේ නැහැ.
මේ ගෙදර පුරාම එයාගේ ඡායාරූපවලින් මතකයෙන් පිරිලා. මට දැනෙන්නේ එයා මගේ ළඟ කියලයි. තනිකමක් දැනෙන්නේ නැහැ. ඒත් දුකයි. හිත හයිය කරගෙන ජීවත් වෙන්න එයාමයි මට හුරු කළේ. ඒ නිසා දුක දැනෙන වෙලාවට ඒ දුක හිතේ යටපත් කරගෙන ජීවත් වෙනවා.
අබේ අසනීප වෙලා එයාගේ හඬ නැති වුණා. මම එතකොට හිතා ගත්තා අබේ නැති වුණ දවසකට මමත් ගායනයෙන් සමු ගන්නවා කියලා. දැන් මම වසර හයක ඉඳලා ගී ගයන්නේ නැහැ. මාව සංගීත ක්ෂේත්‍රයේ ඉහළම තැනට ගෙනියන්න මහන්සි වුණ එයා වෙනුවෙන් මම මගේ හඬ කැප කළා. බොහෝ ප්‍රවීණයින් මට කිව්වා ආයෙමත් ගයන්න. සිංදුවක්වත් කියන්න බැරි අය සින්දු කියනවා කියලා. අපරාධයක් අසාධාරණයක් තමයි. ඒත් මම දුක් වෙන්නේ නැහැ. පසුතැවෙන්නේ නැහැ. අබේ වගේම මමත් සංගීත ක්ෂේත්‍රයට අවශ්‍ය දේ කළා කියලා හිතනවා. ඒ නිසා මට මං ගැන තෘප්තිමත්."
2010 මාර්තු මස 26 වනදා අබේවර්ධන බාලසුරීන් සමුගත්හ.සිය මධුර කටහඬ ඔහු වෙනුවෙන්ම පරිත්‍යාග කරමින් ඇය පුර්ණ කාලීනව ගායනයෙන් සමු දුන්නාය.1981 වසරේ පටන් අබේවර්ධන බාලසුරිය නම් සොඳුරු මිනිසා සමග වසර 29ක යුග දිවියතුල ඇයට සිරී පාදය වන්දවන්නට පිරිමි පුතකු හෝ ගැහැණු දුවක්වත් ලැබීමට තරම් වාසනාවක් නොතිබීම ඉතාම දෛවෝපගතය.















තමන් වයසට ගියාම සිරීපාදය වන්දවන්න පුතෙක් ශ්‍රී මහා බෝධියෙන් පතන තරුණ අම්මා කෙනෙකුගේ අහිංසක ප්‍රාර්ථනය.අළුත් සහල් වලින් කිරි ආහාර පුජාවක් තියලා ඇය පතන්නේ එච්චරයි.ශීතලට ඔළුවත් කන්දෙකත් වැහෙන්නට ඔලියක් බැඳගෙන පුතාගේ අතින් අල්ලාගෙන සිරීපාදය කරුණා කිරීම ඇගේ අභිප්‍රායයි.පුතාට දෙන්න පුළුවන් හොඳම උපමාව ඇතා එහෙමත් නැත්නම් හැමෝටම පේන්න ඉහලින්ම වැජඹෙන කොත් රැල්ල.තේජස,ගෞරවය, ආඩම්බරය වගේම ශක්තිය අම්මගේ හිතට එන්නේ පුතා නිසා.මේ අම්මා තමන් විදි දුක් නිමා කර සතුටින් ජීවත් වන්න ඉල්ලන්නේ පිරිමි පුතෙක් ඒ ඇයට සතුටු වීමට.

සිරීපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා
සිරිමාබෝ සාමිණි මට පිරිමි පුතෙක් නැතුවා...
කිරි ආහාර පුජාවට අලුත් සාල් පුදලා
සිරිමාබෝ සාමිණි මම පිරිමි පුතෙක් පැතුවා...

ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි....
සිරිමාබෝ සාමිණි මට පිරිමි පුතෙක් දෙන්නයි...

ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි..
සිරිමාබෝ සාමිණි මට පිරිමි පුතෙක් දෙන්නයි...

ගායනය - නිරංජලා සරෝජිනී,අබේවර්ධන බාලසූරිය
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්
පද රචනය -  රත්න ශ්‍රී විජේසිංහ


මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ
මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ

අප ළං කරවා  කාලය පියඹා
ආලය ගැන විමසයි
කවුරුන් වේවා  හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි

කඳුළැල් මැදුරේ  හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
පීදෙන පියුමන්  දළුලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි

වසන්තය කියන්නේ ඔබටයි මටයි ///

ගායනය - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය




කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

දෙපය දොවා පිණි දිය දෝරේ ගිය
බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩනා කතන්දර
රස මසවුලු සුව‍ඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
කවදා තනිවන්නේ

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනිවන්නේ

ගායනය - නිරංජලා සරෝජිනී
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්


ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොදවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන

ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක













කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්..//

මං මුලාවී ජීවිතේ අපි
ළංවෙලා ඉමු මේ ලෙසින්..
තවත් පෙම්වතියන්..පෙම්වතුන්..
එනතුරා මේ මාවතේ...
ගමන් මග විමසා අපෙන්...

මේ ලෙසින් සසරේ පුරා අපි
ළංවෙලා සිටියේ හදින්..
හෙටත් අද වාගේ..බලා හිදිමු...
සිත් සතන් නැති ලෝකයා..
පෙම් සුවේ දකිනාතුරා..
ගායනය-බණ්ඩාර ආතාවුද , නිරංජලා සරෝජිනී






















ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ
දෙ ඇසේ කැවී කැවේ වැලි ලෑ විලා සේ

සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ
සතුටේ රිදී තිරේ සිත පාවේ
ලොව කැළඹුනාවේ ඒ සුළු වෙලාවේ
අපි ඉමූ කතා නැතී දරුවෝ විලාසේ

දවසේ තුන් යාමයේ ඔබ ඇසුරේ
පසු වී නොයා බිඳී අද වාගේ
විසුමට කොහේ හෝ මේ මිහි තලාවේ
හෙවනක මුවා වෙමූ මිහිරේ පමාවේ





මිණි මිණි පොදේ ලා අඳුරේ තෙමි තෙමි ගිය දා
ඉඳහිට අදත් සිහිවෙනවා සිරිපොද දැකලා...//

ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුනේ
වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩ සෙවනේ.. //

මා හෙලු කඳුලැලි පුරවා වැහිකලු ඒවී
ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී.. //

ගායනය : නිරංජලා සරෝජිනී
පද සිත්තම : ලූෂන් බුලත්සිංහල
තනුව : එච්.එම්.ජයවර්ධන


අකලට බට මහා වරුසාවක් -කාන්තාවන් තිදෙනෙක් විසින් පමණක් දායකවූ ඉතාම විරල ගීතයක්

අකලට වට මහ වරුසාවක් සේ

අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ

මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක

ඇයිදෝ යළි ආවේ

පෙරදා මෙන් හද මල් පිපුනාදෝ

සතුටු කඳුළු නුඹ ළඟ මිදුනාදෝ

අතීත ආදර නටබුන් අතරේ

මන්දිර මැව්වාදෝ                                                                                

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදී ලබන දිනේ

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ

මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ ///

ගායනය - නිරංජලා සරෝජිනී
සංගීතය - නන්දා මාලිනී
ගී පද - දයා ද අල්විස්